www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

මෙම බයිබල් පාඩම් ඔබ දන්නා අයට හඳුන්වාදෙන මෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ද දේව වචනය තුළින් ශක්තිමත් වන පිණිසයි..

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

බොරුකාර තොල්.

"බොරුකාර තොල් ස්වාමින්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සැබෑ ලෙස හැසිරෙන්නන් කෙරෙහි උන්වහන්සේ ප්‍රසන්න වනසේක."
- හිතෝපදේශ 12:22

බොරුවක් නොකියූ තැනැත්තෙක් සිටිනවා යැයි කීමත් බොරුවක් වන්නේ, බොරුවට අපි කැමැත්තක් දක්වන නිසාම නොව නුමුත් එදිනෙදා ජීවිතයේදී සුළුවෙන් හෝ බොරුවක් අප අතින්ද සිදුවන හේතුවයි.

බොරුවට අපි අකමැති වුවත් එදිනෙදා ජීවිතයේදී සුළුවෙන් හෝ බොරුවක් කීමට ඇයි අපි පෙළඹෙන්නේ? යන මේ ප්‍රශ්ණයත් ගණන් නොගෙන සිටීමට නොහැකි වන්නේ ඒ වෙනුවෙන් පෙන්වාදෙන හේතු විවිධාකාරයෙන් යුතු ඒවා වීමයි.

බොහෝවිට යමෙක් ආරක්ෂා කරගැනීමට ඇති උවමනාව නිසාම සමහර විට තමන් කියන්නේ බොරුවක් බව දැන දැනත් අපි බොරුවක් කීමට පෙළෙඹෙන්නේ, මුහුණදෙන තත්වයෙන් ගැලවී යාමට ඇති එකම මාර්ගය එය පමණක් බව හැඟෙන නිසායි. ඒ අනුව අපි කියන බොරුව තුලින් බොහෝවිට යමෙකුට හිංසාවක් හෝ කරදරයක් සිදු නොවෙනවා නම් සාමාන්‍යය බොරුවක් කීමේ ඇති වරද කුමක්ද යන ඒ අරමුණින් අපි එසේ බොරුවක් කීමට පෙළඹුනත්, බොරුකීම "වරදක්" බව අපට අපගේම හෘද සාක්ෂියත් දොස් පවරයි.

බොහෝවිට බොහෝදෙනා බොරුවක් පැවසීමට පෙළෙඹෙන්නේ යම් ආකාරයක සහනයක් හෝ යම්කිසි බලාපොරොත්තුවක් ඒ තුලින් පහසුවෙන් ඉටුකර ගැනීම සඳහාම වූවත් බොරුව සැමවිටම බොරුවක් ලෙසින් පමණක් නොව නුමුත් ඒ තුල අවධානමත් රැඳී තිබෙන බව බයිබලයේ ඇති ඉගැන්වීම් පෙන්වාදෙන්නේ බොරුවත් ගින්දර මෙන් විනාශකාරී එකක්ද වන නිසායි.

උදාහරණයක් හැටියට ගිණි කුරකින් මතුවන ඒ කුඩා ගිනි පොකුර අපිට අපගේම ඇඟිලි තුඩුවලින් ඉතා පහසුවෙන් නිවා දැමීමට හැකි වුනත්, ඒ කුඩා ගිනිකුරෙන් ඇතිවන කුඩා ගිනිපොකුර පාලනය කරගැනීමට නොහැකි වන විටදී සිදුවන්නේ එය අපි බලාපොරොත්තු නොවූ ආකාරයෙන් විනාශකාරී ගින්නක් බවට පත්වීමයි. පාලනය කරගත හැකි විටදී ගින්දරින් වුණත් අපි වැඩ කරගැනීමට පුරුදුවී සිටියත් එයින් අවදානම මතුවන්නේ එය පාලණය කරගැනීමට අපට නොහැකි වන විටදීයි. බොරුවෙන් ඇතිවන බලපෑම පවා අපට පාලනය කරගත හැකි තෙක් කිසිවෙකුටත් නොදැනී අප අතින් රහසින් සිදුවුවත් එයත් ගින්නක් මෙන් විනාශකාරී තත්වයට පත්වන්නේ බොරුවෙන් මතුවන බලපෑම අපට තවදුරටත් පාලනය කරගැනීමට නොහැකි වන විටයි.

අප අතින් දිනපතාම පාහේ සිදුවන බොරු කීමත් බොහෝවිට කිසිවෙකුටත් නොදැනෙන අයුරින් රහසින් මෙන්ම ඉතා සියුම්ව එය අපි අතින් සිදුවන බැවින් බොරුවෙන් ඇතිවන බලපෑමත් බොහෝවිට සැඟවී තිබෙයි. ඒ නිසාම බොරුවක් කියා අපි වෙනස්කරන ඒ බලපෑමත් බොහෝවිට කිසිවෙකු නොදැන සිටියි. එය එසේ වුවත් ඒ බලපෑම අප එදිනෙදා සම්බන්ධ වී සිටින බොහෝදෙනාගේ සාමාන්‍යය ජීවිතයට පමණක් නොව නුමුත් අවසානයේදී එයට අපගේ පුද්ගලික ජීවිතයටත් බලපෑම් ඇතිකළ හැකියි. ඉතා සුළුවෙන් එය අප අතින් සිදුවුවත් බොරුව දිගින් දිගටම අප අතින් සිදුවන විටදී එය ගෙනදෙන ප්‍රතිපලය බොහෝවිට අපටත් නොදැනීම ඇවිලෙන ගින්නක් බවට පෙරලෙයි.

බොරුවට ගොඩාක් "මුහුණු" තිබෙයි යන මේ කියමන ඉතා පැරණි කියමනක වුවත් බොරුවේ ස්වභාවය එය කියාපායි. බොරුවේ නියම ස්වභාවය පමණක් නොව නුමුත් ඒ තුල සැඟවී තිබෙන රැවටිලිකාර පැත්ත පවා පෙන්වාදීමටත් අපගේ මුතුන් මිත්තන් යොදාගත් ඒ උපහැරණය මේ අදටත් එකසේ නොවෙනස්ව පවතියි.

"බොරුව" යන මේ මාතෘකාව පමණක් නොව නුමුත් බොරුවේ ආරම්භය ගැනත් බයිබලයේ ඇති ඉගැන්වීම පැහැදිලි කරසිටියි. වර්තමානයේ මොලොව ජිවත්වන අපි සියලුදෙනාම මුහුණදෙන මේ දුෂ්කර තත්වයට හේතුවන්නේත් පළමු මිනිස් යුවල (ආදාම් සහ ඒවා) සාතාන් ගේ බොරුවට රැවටී දෙවියන්වහන්සේගේ වචනයට පිටුපෑම නිසා බව බයිබලය පෙන්වාදෙයි.

එසේ බොරුව මිනිසා දෙවියන්වහන්සේ ගෙන් පවා ඈත්කර තැබීමට සමත්වූ බවත් එසේම ඒ හේතුවෙන් මොලොව අපි සියලු දෙනා මුහුණ දෙමින් ජිවත්වන පාපයේ ශාපයට මුල්වූ එකම බලපෑම බවත් පෙන්වාදෙන බයිබලයේ ඇති ඉගැන්වීම පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ, බොරුවෙන් පමණක් නොව නුමුත් එහි බලපෑම ඇතිකළ ඒ පාපයේ ශාපයෙනුත් ගැලවීමට හැකි මාර්ගයක්ද අපට ඇති බවයි. බොරුව අපව දෙවියන්වහන්සේ ගෙන් පමණක් නොව එය අප සමග ජිවත්වන අපගේ අසල්වැසියා ගෙන්ද අපව බෙදා වෙන්කර තැබීමට හැකි බවත් දේව වචනය පැහැදිලි කරයි. . ඒ අවධානම ගැන පාවුල් තුමා විසින් කර ඇති ඉගැන්වීමක් එපිස පොතේ මෙසේ සටහන් වෙයි.

"එහෙයින් බොරුකීම අත්හැරදමා, එක එක්කෙනා තම තමාගේ අසල්වැසියා සමග සැබෑව කථා කරන්න. -එපිස 4:25

මිනිස් ජිවිතයේ යථාර්තය හොඳින් අවබෝධ කරගත් පුද්ගලයෙකු ලෙසින් පෙනෙන සාලමොන් රජතුමාද ඒ ගැන ලියා තබන ලද බොහෝ අවවාද අනුශාසනා හිතොපදේස පොතේ මෙසේ සටහන් වෙයි. ඒ ගැන ඔහු කියා සිටින්නේ, අපි මොලොව ජිවත්වන සාමාන්‍ය දුප්පත් මිනිසුන් වුවත්, අපි සැබෑව කතා කරනවා නම් අපට "රජවරුන්ගේ අවධානය පමණක් නොව නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාව පවා" අප කෙරෙහි යොමුකරවා ගත හැකියි යන ඒ රහසයි.

"ධර්මිෂ්ඨ තොල්වලට දෙවියන්වහන්සේ ප්‍රිය වෙති. යුතු ලෙස කතා කරන්නාටද උන්වහන්සේ ප්‍රේම වෙති. -හිතෝපදේශ

වර්තමාන සමාජය තුල "බොරුව" යන ඒ වචනයේ අර්ථය වෙනස් වන්නේ, බොරුවේ සැබෑ අර්ථය අවස්ථාවට අනුකුලව වෙනස්කරගෙන ක්‍රියා කිරීමට පුරුදුවී සිටින හේතුවයි. එබැවින් බොරුවේ අර්ථය අවස්ථාවට අනුකුලව විවිධාකාරයෙන් අප අතර ක්‍රියාවට නැගෙයි.

ඒ සඳහා බොහෝ උදාහරණ දිනපතාම වාගේ උසාවිය ලෙසින් පෙනීසිටින නඩු ශාලා තුලින් පවා මතුවන ආකාරයත් රහසක් නොවෙයි. ඒ අනුව බොරුව අප අතර ක්‍රියාවට නැගෙන ආකාරය මෙන්ම ඒ ගැන සමාජය උපුටා දක්වන නිර්වචනයන්ද විවිධාකාරව සිදුවන නිසාම බොහෝවිට බොරුව පවා සැබෑවක් සේ පිළිගෙන වර්තමාන ජනසමාජය ක්‍රියා කරන්නේද බොරුව "රැවටිලිකාර" ස්වභාවයකින් යුතු වීමයි. .

මේ පෙළඹීම සාමාන්‍යය මිනිසුන් අතර පමණක් නොව නුමුත් නඩු ශාලා තුල පවා ක්‍රියාවට නැගුනත්, දේව වචනය "බොරුව" සලකන්නේ "බොරුවක්" ලෙසින් පමණි. එබැවින් බොරුවට රැවටී ඒ බොරුවේ බලපෑමට වහල් නොවී ජිවත්වන පිණිස සැබෑව ලෙසින් පෙනීසිටින දෙවියන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසට දෙවියන්වහන්සේම මිනිසාට අවවාදකර සිටියි.

බොරුව පහදා දෙමින් කරණ ලද ඉගැන්වීම් බොහොමයක් දේව වචනයේ දැකිය හැකියි. බයිබලයේ "බොරුව ගැන" කර ඇති එවැනි ඉගැන්වීම් දෙස බලද්දී "බොරුව" අප අතර පියවර හතකින් ක්‍රියාවට නැගෙන ස්වභාවය පැහැදිලිව පෙනෙයි.

අපගේ ආත්මික ජීවිතය බොරුවේ බලපෑමට හසුවී එයින් විනාශකර නොගන්නා පිණිසත්, එසේම බොරුවේ ආත්මයට වහලෙකු නොවී එයින් නිදහස ලබා ගනු පිණිසත්, ඒ ගැන කරුණු සොයා බැලීම ඇදහිලිවන්තයන් වන අප සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන්නේ "බොරුවේ පියා සාතාන්" බව බයිබලයේ ඇති ඉගැන්වීම පැහැදිලිව පෙන්වාදී තිබෙන හේතුවයි.

බොරුව ඉතා සියුම්ව අප තුල මුල්බැස ගන්නා සවභාවයේ පියවර හත.

1.පළමු පියවර.

අප සියලු දෙනා තුලින් පළමුවෙන්ම බොරුව ක්‍රියාවට නැගෙන්නේ වැරදි අරමුණක් මුල්කරගෙන නොව නුමුත් යහපත් අරමුණක් මුල්කරගෙනයි. බොරුව අපව රවටා ගන්නා පළමු පියවර එයයි.

බොරුව බොහෝදෙනා අතින් පළමුවෙන්ම සිදුවන්නේ යහපත් අරමුණක් හේතු කරගෙනයි. ජිවිතයට බලපාන යම් කරදරයකින් හෝ අමාරුකමකින් මිදීම වෙනුවෙන් හෝ කිසිවෙකුටත් හානියක් සිදු නොවෙනා අයුරින් යම් කිසි පුද්ගලයෙකුට කරණ උපකාරයක්සේ හෝ බොහෝවිට බොරුව අප අතින් පළමුවෙන් ක්‍රියාවට නැගෙයි.

අප තුලින් මතුවන එවැනි බොරු සමාජය "සුළු බොරුව" නොහොත් "සුදු බොරුව" ලෙසින්ද හඳුන්වන්නේ එවැනි බොරුවක් පැවසීම "සාමාන්‍යය දෙයක්" යන අදහසත් පෙන්වාදීමටයි. එබැවින් එයින් නපුරක් නොවෙනා බැවින් සමාජයද එය අනුමත කරයි.

ඇදහිලිවන්තයන් වන අපත් බොහෝවිට එවැනි බොරු ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන්නේත් එයින් කිසිවෙකුටත් අයහපතක් සිදුනොවෙනා හේතුව උඩයි. බොරුව "සුදු" වුණත්, එහි බලපෑම "සුළු" එකක් වූවත්, බොරුව බොරුවක් පමණක් බවත් මෙහිදී අප තේරුම් ගතයුත්තේ පාපයේ ආරම්භයට මුල්වුයේත් බොරුවක් වන හේතුවයි. සමාජය බොරුවට අලුත් ඇඳුම් අන්දවා එය අලුත් මුහුණුවරකින් "සුදු බොරුවක්" ලෙසින් හඳුන්වා දුන්නත් , එවැනි අලුත් අර්ථකතනයන් පිටුපස සැඟවී සිටින්නේ "පරණ බොරුවම" බව දෙවියන් ඉදිරයේ සත්‍යය අනුගමනය කිරීමට කීකරුව සිටිනා ඇදහිලිවන්තයන් වන අපි මෙහිදී ඒ ගැන තේරුම් ගත යුතු වන්නේ, බොරුවේ පියා යක්ෂයාද (සාතාන්) වන හේතුවයි.

2. දෙවැනි පියවර.

බොරුව අප තුලින් ක්‍රියාවට නැගෙනා දෙවැනි පියවර වන්නේ, සුළුවෙන් පැවසු බොරුවක් එළිවන විටදී එය වසා ගැනීමට තවත් බොරුවක්ම පැවසීමට එය අපව පෙළඹ වීමයි. කියපු බොරුවේ වැරැද්ද හරිගස්සා ගැනීමට තවත් බොරුවක් පැවසීමට බොරුව අපව පොළොඹවන්නේ අපටත් නොදැනුවයි.

බොහෝ විට සුළුවෙන් කියන බොරුව එතරම් ප්‍රශ්නයක් නොවෙන නිසාම එදිනෙදා ජීවිතයේදී බොරුවක් පැවසීම සාමාන්‍යය එකක් සේ පිළිගෙන අපි "සුදු බොරුවක්" පැවසීමට පුරුදුවී සිටියත්, ඒ සුළු බොරුව එළිදරව්වන විටදී එයින් ඇතිවන අනිසි බලපෑම විශාල එකක් බවට පත්වෙයි. එවැනි අවස්තාවන් වලදී මුලින් කියූ බොරුවෙන් ඇතිවූ බලපෑම වසාගැනීමට හෝ එයින් ඇති වූ අනිසි බලපෑම මඟහරවා ගැනීමට බොහෝවිට අපි පෙළෙඹෙන්නේ තවත් බොරුවක්ම පැවසීමටයි.

3. තුන්වැනි පියවර.

අප අතර බොරුව ක්‍රියාවට නැගෙන තුන්වැනි පියවර ලෙසින් ගත හැක්කේ, බොරුවක් වසා ගැනීමට බොරුවක්ම පාවිච්චි කිරීමට ඉන්පසු අපි භය නොවීමයි. එයින් අදහස් වන්නේ, බොරුව එලිවීමෙන් මතුවන අනිසි බලපෑම මඟ හරවා ගැනීමට තවත් බොරුවකට හැකි බව පිළිගැනීමයි. ඒ අනුව බොරුවෙන් ඇතිවූ බලපෑම තවත් බොරුවක් තුලින් වසා ගැනීමට හැකි නිසාම අවස්තාව පාලනය කර ගැනීමට බොරුවක් කීමට භය නොවීමේ උනන්දුව අප තුල වර්ධනය වීමයි.

මේ පුරුද්ද දිගින් දිගටම අප අතින් සිදුවන විට අප තුල ඇතිවන අනෙක් වෙනස වන්නේ, බොරුව ඉතා ඉක්මණින් අපගේ හෘද සාක්ෂිය අභිබවා ක්‍රියාකරමින් බොරුකීමට අපව දිගින් දිගටම පෙළඹවීමට පටන් ගැනීමයි.

හෘද සාක්ෂිය අභිබවා ක්‍රියා කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ , බොරුවක් කියන විටදී මුලින් ඒ ගැන හිතට ඇතිවූ චකිතය හෝ වැරදි හැඟීම අඩුවී ඒ වෙනුවට "වැරද්ද හරිගස්සා ගැනීමට" යන ඒ අරමුණින් එය අප අතින් සිදුවීමට පටන් ගැනීමයි. එවිට ඒ ගැන වැරදි හැඟීමක් ඇති නොවන නිසා අවසානයේදී බොරුව දිනපතා ජීවිතයේදී පුරුද්දක් බවට පත්වීමයි.

මේ හේතුව බොරුව "සාමාන්‍යය දෙයක්" යන ඒ පිළිගැනීමට අපව පත්කරවයි. එයට හේතු වන්නේ බොරුව ගැන අප තුළ මුලින් මුල් බැස තිබු "වැරදි හැඟීම" අභිබවා දැන් බොරුව "වරදක් නොවෙයි" යන ඒ හැඟීම ඒ වෙනුවට මුල්බැස ගැනීමයි. මේ ක්‍රියාව දිගින් දිගටම දික් වෙනවා හැරෙන්නට එහි නිමාවක් දැකිය හැකිනොවෙයි.

4. හතරවැනි පියවර

බොරුවේ හතරවැනි පියවර වන්නේ එයට සුළු කාලයකින් අපගේ හෘද සාක්ෂියේ සියුම්කම සම්පුර්ණයෙන්ම මොට්ට කර දැමීමට හැකිවීමයි.

අපගේ හෘද සාක්ෂිය මොට්ට වූ විට තමා ඉදිරියේ ඇති "සත්‍යය යථාර්තය" නොපෙනීම පමණක් නොව ඒ සත්‍යය "නොහැඟීටත්" පටන් ගන්නේ හෘද සාක්ෂිය හඟවන සියුම් හැඟීම පලුදු වීමයි. ඒ අනුව අප අතින් බොරුවක් පැවසීම හෝ බොරුවට රඟපෑම වරදක් යනුවෙන් අපට නොදැනීමට පටන් ගනියි. මේ තත්වයට පත්වීම හතරවැනි පියවරයි. බොහෝවිට බොහෝදෙනාට බොරුව බොරුවක් බව පහදා දුන්නත් ඒ ගැන පැහැදීමක් නොදැනෙන්නේ ඒ හේතුව උඩයි. එවිට අවස්ථාව මිසක් හරි වරැද්ද හෝ යුතුදේ හෝ අයුතු දේ ගැන වැදගත් කමක් අපට නොහැඟෙයි. එවිට හරි වැරැද්ද ගැන හැඟීමක් තමන් තුල නොමැති නිසා තමුන්ගේ වාසිය හෝ කැමැත්තට ඉඩදී ක්‍රියා කිරීමට පටන් ගනියි.

5. පස්වැනි පියවර.

තම වාසියට අවස්තාව පෙරලාගෙන ඕනෑම බොරුවක් නිර්භයව කිරීමට මැලි නොවීම පස්වැනි පියවරයි.

මේ වනවිට එකක් දෙකක් නොව නුමුත් දිගින් දිගටම බොරුව පෙරදැරි කරගෙන ක්‍රියා කිරීමට පමණක් පුරුදුවී ඇති නිසාම, දැන් තම වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් සත්‍යය ලෙසින් පෙරලාගෙන කටයුතු කිරීමටත් එසේම තමාට අවාසිය ගෙන දෙන සියල්ල අසත්‍යය යයි හඳුන්වමින් හෙලා දකිමින් වැඩ කිරීම පස්වැනි පියවරයි. මේ අවස්ථාවේදී බොරුව බොරුවක් ලෙසින් නොව නුමුත් එය පමණක් සත්‍යය ලෙසින් පිළිගෙන අන් සියල්ල පිළිනොගන්නා තත්වයට පත්ව ක්‍රියා කරයි.

බොරුව සත්‍යය ලෙසින් පිළිගෙන කටයුතු කිරීමට පටන් ගැනීම භයානක වන්නේ, එදිනෙදා ජීවිතයේදී නොයෙක් ආකාරයේ ලාභ ප්‍රයෝජන ලබාදීමට හෝ ලබාගැනීමට බොරුව ප්‍රයෝජනයට ගැනීමයි. මේ තත්වය පෙන්නුම් කරන්නේ බොරුව දැන් අපගේ සිත ආක්‍රමණය කරගෙන හමාර බවයි.

6. හයවැනි පියවර.

බොරුවේ හයවැනි පියවර වන්නේ, එය අපගේ ජීවිතය තුල පමණක් නොව නුමුත් දැන් එය අප තුලින් අප සම්බන්ධ වී සිටින අනෙක් අයගේ ජිවිත වලටද බලපෑම් ඇති කිරීමට පටන් ගැනීමයි.

බොරුව දැන් ජිවිතයේ කොටසක් බවට පත්වී ඇති නිසාම දැන් එය අපගේ ජිවිතයට සම්බන්ධ අනෙක් සියලු කාර්යයන් කෙරෙහිද බොරුවේ බලපෑම ඇති කිරීමයි. එයින් අදහස් කෙරෙන්නේ දැන් තමුන් පමණක් නොව නුමුත් තමාට සම්බන්ධ අනෙක් සියලු කටයුතුද බොරුවේ බලයෙන් පාලනය කිරීමට උත්සාහ කිරීමයි.

එදිනෙදා ව්‍යාපාර කටයුතු, විවාහ ජීවිතයේ හෝ පවුල් ජිවිතයේ කටයුතු, සමාජීය කටයුතු යනාදී ජිවිතයට සම්බන්ධ සියලු අංගයන් පවා බොරුවේ බලපෑමට යටත්ව කිරීමට පටන් ගැනීමේ හේතුවෙන් දැන් තමුන් පමණක් නොව නුමුත් තමාට සම්බන්ධ අනෙක් සියල්ලන්ද බොරුවේ බලපෑමට අනුව කරණු ලබයි.

7. හත්වැනි පියවර.

බොරුවේ සත්වැනි පියවර වන්නේ, බොරුවට වහල්වී ජීවත්වීමයි. එසේ කිරීමට හේතු වන්නේ, බොරුව පිටුපසින් ක්‍රියාවට නැගෙන සාතාන්ගේ ආත්මයට දැන් වහලෙකු වීමේ හේතුවයි. දැන් තමාට බොරුව බොරුවක් සේ නොපෙනෙන්නේ සත්‍යය හෝ සත්‍යය වෙනුවෙන් ඇතුලාන්තයේ පෙනීසිටින හෘද සාක්ෂියට හෝ දෙවියන්වහන්සේගේ ආත්මයට තවදුරටත් හදවතේ ඉඩක් නොවීමයි. මේ තත්වය පැහැදිලි කිරීමට උදාහරණ අවශ්‍යය නොවන්නේ අප ජිවත්වන මේ සමාජය දිනපතාම වාගේ ඒ ගැන පැහැදිලි උදාහරන අපට සපයාදෙන හේතුවයි.

තම ස්වකිය කැමැත්ත හෝ හෘද සාක්ෂිය අභිබවා ඒ වෙනුවට "බොරුවේ පියා ලෙසින් සැලකෙන සාතාන්ගේ ආත්මය" දැන් තම ජිවිතයේ පාලනය සම්පුර්ණයෙන්ම යටපත් කරගෙන තිබීම සත්‍යය ඉදිරියේ හෝ හරි දෙය ඉදිරියේ අන්ධයව ජීවත්වීමට පොළොඹවයි.
මේ තත්වය පෙන්වාදෙන්නේ බොරුව දැන් තමාගේ ජීවිතයේ ස්වාමියා බවට පත්වී තම කැමැත්ත අභිබවමින් තමාව වහලෙකු බවට පත්කරගෙන තිබෙන තත්වයයි. මෙසේ බොරුව පමණක් නොව දැන් බොරුවේ පියා ලෙසින් පෙනීසිටින සාතාන් ගේ අනෙක් සියලු නපුරු ක්‍රියාද අප තුලින් එළිදැකීමට පටන් ගනියි.

දේව වචනය බොරුව ගැන පෙන්වාදී ඇති ඉගැන්වීම.

මේ ප්‍රශ්නයට බලපාන ප්‍රධාන හේතුව දේව වචනය විස්තර කරයි. ඒ හේතුව හැටියට දෙවියන්වහන්සේ පෙන්වාදෙන්නේ පළමු මිනිසාගේ අකීකරුකම තුළින් මතුවූ පාපයේ ශාපය මිනිසුන් වන අපට පමණක් නොව නුමුත් අප ජිවත්වන මේ ලෝකයටද කෙලින්ම බලපෑව බවයි.

උපතින්ම අප තුළ ක්‍රියාවට නැගෙන මේ බලවේගය "නොපනත්කම" ලෙසින්ද හඳුන්වා දෙමින් තෙසලෝනික පොතේ ඒ ගැන පාවුල් තුමා විස්තර කරන්නේ, අප තුල පමණක් නොව නුමුත් අප ජිවත්වන මේ ලෝකය තුළත් ක්‍රියාවට නැගෙන මේ අඳුරු බලපෑමට හේතුව අප සියලුදෙනා හොඳින් හඳුණන පාපිෂ්ඨ ස්වභාවය ලෙසයි. .

පළමු මිනිස් යුවල දෙවියන්වහන්සේගේ වචනයට නොව නුමුත් සාතාන්ගේ බොරුවට කීකරුවීම තුලින් කල ඒ අකිකරුකමේ ක්‍රියාව හේතුවෙන් ඔවුන් ද පාපයේ කොටස් කාරයන් වුවා පමණක් නොව නුමුත් ඔවුන් ජිවත්වන මේ ලෝකයද ඒ පාපයේ ග්‍රහණය අසුවූ බවත් පෙන්වාදෙන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි. දුක වේදනාව මෙන්ම නොපනත්කමේ ආරම්භයට හේතුවන්නේ සාතාන්ගේ ඒ රැවටිලිකාර ක්‍රියාව වන අතර, මිනිසා පාපයට වැටීමට පෙර දුක වේදනාව මිනිසා සතු නොවූ බවත් දේව වචනය ඒ ගැන පැහැදිලි කරයි.

බොරුවේ පියා යක්‍ෂයා නොහොත් සාතාන් බව එළිදරව් කරසිටින දේව වචනය ඒ ගැන පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ, යමෙක් බොරුවට වහලෙකු වී ජීවත්වන්නේ නම් ඒ පුද්ගලයාගේ හදවතද ඒ සාතාන්ගේ ආත්මයේ බලපෑමට හසුවී තිබෙන කාරණයයි.
මේ එළිදරව්ව පෙන්වාදෙන අනෙක් සැබෑව වන්නේ, "බොරුව" අප අතින් සිදුවන වරදකටත් වඩා ආත්මික බලපෑමක් යන කාරණාවයි. හේතුව ඒ පිටුපසින් "ආත්මයක්ද" ක්‍රියා කරණ තේරුමයි. බොරුව පිටුපසින් ක්‍රියාවට නැගෙන ඒ ආත්මය "සාතාන්ගේ ආත්මය" නොහොත් "යක්ෂයාගේ ආත්මය" බව දේව වචනය පැහැදිලිව කියා සිටින්නේ බොරුවේ පියා වන සාතාන්ගේ බලපෑම ඒ තුලින් ක්‍රියාවට නැගෙන හේතුව උඩයි.

"නුඹලා නුඹලාගේ පියා වන සාතාන්ගේ තෘෂ්ණාවන් ඉෂ්ඨකරන්නට කැමතිය.
ඔහු පටන් ගැනීමේ සිට මිනීමරන්නෙක්ය.
ඔහු තුළ "සැබෑකම" නොමැති හෙයින් ඔහු සැබෑ වෙහි නොපවතින්නේය.
ඔහු බොරුවක් කියන කළ තමාගේම දේ කියයි.
මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය.
බොරුවේ පියා සාතාන්ය."
-යොහාන් 8:44

මෙසේ බොරුව සහ අන්ධකාරය සැමවිටම සාතාන් වන යක්ෂයාට අදාලව පමණක් නොව නුමුත් එය සාතන්ගේ බලපෑම මත පමණක් ක්‍රියාවට නැගෙන බවත් පවසා සිටින්නේ මා නොව නුමුත් දෙවියන්වහන්සේම විසින් පෙන්වාදී ඇති දේව වචනයයි. එසේම ඒ එළිදරව්ව ය පෙන්වාදී ඇති දෙවැනි වැදගත් කරුණ වන්නේ, සාතාන්ගේ ආත්මය අප තුලින් ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ බොරුව තුලින් වන බවයි.

ආරම්භයේ පටන් (ඒදන් උයනේ ඒවා සහ ආදම් ගෙන් පටන්ගෙන) මේ දක්වාම සාතාන් බොරුව උපයෝගී කරගනිමින් මිනිසුන් සැබෑ සත්‍යයෙන් වෙන්කර තැබීමට දරණ උත්සාහය දේව වචනය පෙන්වාදී ඇත්තේ, මිනිසුන් තුලින් ක්‍රියාවට නැගෙන පාපයේ බලය හැටියටයි. එබැවින් පාපයේ බලය ලෙසින්ද ක්‍රියාවට නැගෙනා බොරුවට වහල්වී ජීවත්වීම පෙන්වාදෙන්නේ එවැන්නන් සාතාන්ගේ බලපෑමට හසුවී ජිවත්වන සැබෑවයි.

ඒ අනුව පටන් ගැනීමේදී බොරුවේ බලපෑම තුලින් මිනිසා රැවටීමට ලක්කර, ඒ තුලින් පාපයේ ශාපයට හවුල්කාරයන් වීමට සැලැස්වූ සාතාන්ගේ රැවටිලිකාර "බොරුව" අපව දෙවියන්වහන්සේ ගෙන් ඈත්කර දැමීමටත් සමත් වූ බැවින් , මිනිස් ජිවිත තුල උපතේ පටන් බලපාන ඒ "බොරුවේ ආත්මයෙන්" මිදීමට අපට ඇති එකම මාර්ගය වන්නේ "දෙවියන්වහන්සේ පමණක්" බවත් දෙවියන්වහන්සේම එළිදරව් කරසිටියි.

"බොරුව" සාතාන්ට අදාල කරමින් සාතාන් බොරුවේ පියා හැටියටත් පෙන්වාදෙන දේව වචනය; එයින් මිදී ජීවිතය ජයගැනීමට නම් සත්‍යය අනුගමනය කිරීමට මඟ පහදා දීම පිණිස දෙවියන්වහන්සේම විසින් මොලොවට එවන ලද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සපයා දුන් ගැලවීමේ මාර්ගය පිළිගන්නා ලෙසට අවවාද කරයි. සැබෑ සත්‍යය වෙනුවෙන් පෙනීසිටින දෙවියන්වහන්සේගේ ආත්මයට පමණක් බොරුව තුලින් පෙනීසිටින සාතාන්ගේ බලපෑමෙන් මුදවා ගැනීමට හැකිබව දේව වචනය පෙන්වාදෙන්නේ මිනිසුන් වන අප සියලුදෙනාම සාතන්ගේ බලපෑමට හසුවී එහි වහලුන් බවට පත්වී හමාර හේතුවයි.

සත්‍යය ආලෝකය හැටියටත්, එසේම බොරුවේ විරුද්ධ පැත්ත ලෙසින් පෙනීසිටින ඒ සත්‍යය ආත්මය "දෙවියන්වහන්සේ" හැටියත් පෙන්වාදෙන දේව වචනය; එබැවින්, බොරුවේ වහල්කමෙන් මෙන්ම සාතාන්ගේ බලපෑමෙන්ද මිදී ජිවත්වන පිණිස "මාර්ගයද, සැබෑවද, ජිවණයද" ලෙසින්ද මෙලොවට එවන ලද "යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන ඒ සැබෑ සත්‍යය" තුලින් නිදහස නොහොත් ගැලවීම ලබාගන්නා ලෙසට සකල ලෝකයාට අවවාද කරයි.

"මාර්ගයද, ජීවනයද, සැබෑවද මමය. මා (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) කරණකොටගෙන මිස කිසිවෙක් දෙව් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත."
-යොහාන් 14:6

සාතාන්ගේ බොරුවේ ආත්මයෙන් මිදී සත්‍යයට ඇලුම් වන්නාවූ ආලෝකයේ දරුවන් මෙන් ජිවත් වීමට කැමති නම් ඒ වෙනුවෙන් අවශ්‍යය වන්නේ "කීකරු හදවතක්" පමණක් බවත් දේව වචනය කියා සිටියි.

බොරුවෙන් ජය ගැනීමට නම්, යේසුස් වහන්සේ නමැති "සැබෑ සත්‍යය" පිළිගැනීම පමණක් නොව නුමුත් ඒ සත්‍යට අපව පාලනය කිරීමට ඉඩදෙමින් ඒ සත්‍යය අනුගමණයද කළයුතු වන්නේ මොලොව ක්‍රියාවට නැගෙන ඒ සාතාන්ගේ බලපෑමත් සැබෑවක් වන හේතුවයි.

"නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය. "
- යොහාන් 8:32

දෙවියන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ අපට සම්භවන බවටත්, එසේම දෙවියන්වහන්සේ නමැති ඒ දොරටුවට අපි තට්ටු කරන්නේ නම්, උන්වහන්සේ අප කෙරෙහි විවර වන බවටත්, උන්වහන්සේට අපි කෑමොර දී හඬ ගසන්නේ නම් උන්වහන්සේද අපගේ හඬට ඇහුම්කන් දෙන බවටත්, බයිබලයේ ඇති තවත් බොහෝ ඉගැන්වීම පෙන්වාදී ඇත්තේ, අපි සියලු දෙනාම සත්‍යය ලෙසින් පෙනීසිටින ඒ දෙවියන්වහන්සේ හඳුනා ගැනීමට පැමිණ සාතාන්ගේ බලපෑමෙන් මිදී ජිවත්වන පිණිසයි.

"මක්නිසාද දෙවියන්වහන්සේ තම එකම පුත්‍රයා මේ ලෝකයට දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සියල්ලෝම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසයි."
- යොහාන් 3:16

"සදාකාල ජීවනය නම් මේය, එකම සැබෑවූ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේ විසින් එවන ලද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනා ගැනීමට පැමිණීමය." - යොහාන් 17: 3

" ස්වාමින්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබෙයි;
එසේය උන්වහන්සේට පිළිකුල්වූ කාරණා හතක් තිබෙයි:
උඩඟු ඇස්,
බොරුකාර දිව,
නිදොස් ලේ වගුරුවන අත්,
දුෂ්ඨ උපා යොදන සිත,
නපුරට දුවන්නට ඉක්මන්වන පාද,
මුසාබස් නික්මවන් බොරු සාක්ෂි පැවසීම ,
සහෝදරයන් අතරේ භේද පැතිරවීම, "
-හිතෝපදේශ 6:16-19

STUDY OUT LINE හදුන්වාදීම

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.